ගාල්ල පරිපාලන දිස්‍ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරයා වශයෙන් කේ.යූ චන්ද්‍රලාල් මහතා අද (26) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිය රාජකාරී ආරම්භ කෙරිණ.

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ප්‍රදේශයේ උපත ලද ඒ මහතා මූලික පාසල් අධ්‍යාපනය ලණුමෝදර විජය විද්‍යාලයෙන් ආරම්භ කර පසුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ගෙන ඇත.
ජපානයේ අන්තර්ජාතික විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරා ඇති ඒ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තනතුරු රැසක අත්දැකීම් බහුල නිලධාරියෙකි.
2001 වසරේ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ලිපිකරුවෙකු වශයෙන් රාජ්‍ය සේවයට පිවිසි ඒ මහතා,
2003 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවා විවෘත විභාගය සමත්ව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විණ
ඉන් අනතුරුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු වශයෙන් සිය කටයුතු ආරම්භ කරන ලදී.
පසුව අම්බලන්ගොඩ සහ කඩවත්සතර සහකාර ප්‍රාදේශිය ලේකම් වශයෙන් ද ,ඉන් අනතුරුව නාගොඩ ප්‍රාදේශිය ලේකම්වරයා ලෙසද ස්වකීය ධූරයේ කටයුතු හොබවා තිබේ.
ඉන් අනතුරුව වක්වැල්ල සංවර්ධන පුහුණු ආයතනයේ අධ්‍යක්ෂවරයා වශයෙන්ද, පළාත් ඉඩම් කොමසාරිස්වරයා වශයෙන්ද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද රාජකාරි කටයුතු සිදු කර ඇත.
ඉන් අනතුරුව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් ද ,පසුව දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම් වශයෙන් කටයුතු සිදු කර තිබේ.
දකුණු පළාත් ක්‍රීඩා හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමෙන් අනතුරුව අද සිට ඒ මහතා ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා /දිසාපතිවරයා වශයෙන් කටයුතු ආරම්භ කරන ලදී.
ගාල්ල දිස්‍ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල සභාපති පූජ්‍ය කණුමුල්දෙණියේ චන්දවිමල නාහිමි ,ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් අයේෂා කාරියවසම් මහත්මිය,අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ජී.ලක්ෂ්මි කාන්ති මෙනවිය, ප්‍රධාන ගණකාධිකාරී ධම්මිකා සුභාෂිණි මහත්මිය ඇතුළු දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ දකුණු පළාත් සභාවෙ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථා‍වට එක්ව සිටියහ.

345910111213